ඉතිහාසයෙන් බිඳක්

සියල්ල ආරම්භ වූයේ SLaTeX නම් වූ සිංහල ලේඛන සැකසුම් පද්ධතිය නිර්මාණය කිරීමත් සමඟය. රුහුණ විශ්ව විද්‍යාලයට සම්බන්ධ වී නොබෝ කලකින්, 1993 දී, මවිසින් එම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. එහි අවශ්‍යතාවන් අනුව මවිසින් ඉංගිරිසි අකුරු භාවිතා කර සිංහල ලිවීමට ක්‍රමවේදයක් ද (a transliteration scheme), ලෝකප්‍රසිද්ධ TeX/LaTeX ලේඛන සැකසුම් පද්ධතිය හා භාවිතා කළ හැකි සිංහල අකුරු වැලක් ද (a font), ලේඛන පහසුවෙන් සකස් කිරීම සඳහා උපාංග කීපයක් ද නිර්මානය කළෙමි. මේ සම්පූර්ණ පද්ධතිය SLaTeX නමින් හඳුන්වන ලදී.

මෙම නව තාක්‍ෂ‍ණය භාවිතා කර සිංහල බසින් තොරතුරු ගබඩා කිරීමට මා තුළ උනන්දුවක් විය. ගී පද එකතු කිරීම මගේ විනෝදාංශයක් වී තිබිණ. ඇත්තෙන්ම, බොහෝ දෙනෙක් විනෝදාංශයක් ලෙස මෙය කරති. එසේ නම මේ ගී පද සියල්ල වෙබ් අඩවියක තැන්පත් කිරීම හොඳ වැඩක් නොවේදැයි මම සිතුවෙමි. එහි ප්‍රතිඵලය වූයේ 1995 දී 'මියුරු ගී' නමින් ව්‍යාපෘතියක් ආරම්භ වීමයි. මා දන්නා තරමින් අන්තර්ජාලයේ පළමු සිංහල ගී එකතුව මෙය විය. බොහෝ දෙනෙක් ගී පද සොයා දුන් අතර තවත් කිහිප දෙනෙක් ඒවා පරිගණකගත කළෝය. රුහුණු විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය තවමත් මේ ගී එකතුව සඳහා සබැඳියක් මෙහි පවත්වාගෙන යයි.

අවාසනාවකට 'මියුරු ගී' ව්‍යාපෘතිය මා 2002 වර්ෂයේදී රුහුණ හැර යාමත් සමඟ අභාවයට ගොස් ඇති බවක් පෙනෙයි. අළුත් ගී කිසිවක් එයට එකතු කර නොමැත. වසර ගණනාවකට පසුව, මාගේ අතීත ක්‍රියාකාරකම් හාරා අවුස්සමින් සිටිද්දී, SLaTeX පද්ධතිය මා නෙත ගැටුනි. ගී පද ව්‍යාපෘතිය අළුත් වෙබ් තාක්‍ෂ‍ණයත් උපයෝගී කර ගනිමින් ඉදිරියට ගෙන යා යුතු බවට අදහසක් මා සිත තුළ පැණ නැගුනි. දැන් (2008 මැයි) වන විට 'ලංකා ගී පොත' කළඑළියට ආවේ එලෙසයි. පසුගිය මාස කිහිපය තුළ පැය ගණන්, දින ගණන් ගත කර නැවත බිංදුවේ සිට මෙම අඩවිය සැකසුවෙමි.

මගේ බලාපොරොත්තුව හැකි තාක් කාලයක් එය වැඩි දියුණු කර පවත්වා ගෙන ගොස් යම් දිනකදී එය ඉදිරියට ගෙන යාමට කැපවන කෙනෙකුට (හෝ සමූහයකට) භාර කිරීමයි.


අතීතයට පෙරළෙන වර්තමානය

2008 ජූලි: මව්බිමෙන් බැහැරව වෙනත් කාර්යයන්හි නිරතව ගත කරද්දී මගේ අවධානයෙන් ගිලිහුණු යමක් මා නෙත ගැටුණි. එය නම්, ස්වභාෂාවෙන් පරිගණකය භාවිතා කිරීමට පහසුකම් සැපයීම වෙනුවෙන් ලංකාව තුළ කෙරෙමින් පවතින වැඩ කොටසයි. යුනිකේතයට සිංහල භාෂාව ඇතුළත් කිරීම එහි එක් ප්‍රතිඵලයකි. 'ලංකා ගී පොත' යුනිකේතයට හැරවීමට මම කෙටි කාලයක් තුළ පියවර ගතිමි.